2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

අයදිමි මා සමා

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 122

 

පහුගිය දවසක ගල්කිස්ස වෙරළ ආසන්නයේ සින්දුවක විෂුවල් එකක් රෑපගත කරන්න සියල්ල සූදානම් කරලා තිබුණලු. ප්‍රධාන නළුවා ඉන්නෙ කළුතර. වැඩේ ප්‍රමාද කරන්න බැරි නිසා අධ්‍යක්ෂකවරයා අර නළුවට කිව්වලු කළුතරින් AC බස් එකක නැඟලා ගල්කිස්ස හන්දියෙන් බහින්න කියලා. ගල්කිස්ස හංදියෙන් ඩිරෙක්ටර්ගෙ කාරෙකේ දර්ශන තලයට යන්නයි සැලසුම් කරලා තිබුණේ.

ඔන්න දැන් නළුවා කළුතරින් කොළඹ එන AC බස් එකක නැඟලා එනවා.
&මම දැන් බස් එකට නැග්ගෙ. පැයක් විතර යයි ගල්කිස්සට එන්න.* ඔහු ඩිරෙක්ටර්ට කිව්වා.
පැයකින් විතර ඩිරෙක්ටර් ගල්කිස්ස හංදියට ඇවිත් බලන් ඉන්නවා. නළුවා නෑ. කෝල් කළාම ෆෝන් එක උස්සන්නෙත් නැහැලු. පැයක් විතර ට්‍රයි කළට පස්සෙ ඔන්න මෙයා ෆෝන් එක ගත්තලු.
&කොහෙද මල්ලි ඔයා. මම පැයක් තිස්සෙ මෙතන බලං ඉන්නවා. බස් එක තාම ගල්කිස්සට ආවෙ නැද්ද?*
&ගල්කිස්ස පහුකරගෙන කොළඹටත් ආවා අයියා. මම දැන් ආපහු එන ගමන්. දැන් ඉන්නෙ වැල්ලවත්තෙ.* ඔහු කිව්වලු.

&තමුසෙට නින්ද ගියාද? අපි මෙතන රස්තියාදු වෙනවනෙ.*
&අනේ නෑ අයියෙ, මම කළුතරින් ආපු බස් එකේ මිල්ටන් මල්ලවාරච්චිගෙ ලස්සන සින්දු CD එකක් දාලා තිබුණා. මට ගල්කිස්සෙන් බහින්න ලෝබ හිතුණා ඒකයි. &තරහා වනු එපා- අයදිමි මා සමා...* ඔහු මිල්ටන්ගෙ සින්දු කෑල්ලකින්ම සමාව ඉල්ලුවලු.

මගෙ පපුවෙ හාට් නෑ මචං

පහුගිය දවසක අපේ රටේ අති දක්ෂ රංගන ශිල්පියෙක් ගැන ආරංචියක් මූණු පොතේ දාලා තිබුණා. මේ චරිතාංග නළුවා හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ගන්න ඉස්පිරිතාලෙක නවත්තලලු.

ඒ පුවත කියවූ හැමෝම ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර ඔහුගේ කිට්ටුම හිතවතුන් ඔහුට දුරකථනයෙන් කතා කළාලු. එහෙම කතා කරපු යාළුවන්ට මේ නළුවා බණිනවලු පලු යන්න.

&මේක කරපු එකාට නම් හොඳක් සිද්ධ වෙන්නෙ නෑ. නිකං හිටපු මට මේ වගේ දෙයක් කරන්න ඉතිං ඉරිසියාවට මිසක් වෙන මොකටද?* ඔහු කියනවලු.
&ඉතිං මචං ඔයාට එහෙම පපුවෙ අමාරැවක් හැදුණෙ නැද්ද?*
&පිස්සුද බං මගෙ පපුවෙ හාට් නෑ මචං. අපේ දියුණුව දරාගන්න බැරි අය තමයි මේක කරලා තියෙන්නෙ. උදේ මට ඩිරෙක්ටර් කෙනෙක් කතා කරලා කිව්වා දුවන පනින චරිත දැන් ඔයාට කරන්න බැහැනෙ, ඒ නිසා සුදුසු චරිතයක් ලැබුණම කතා කරන්නම් කියලා. මම එයාට කිව්වා මළ මිනියක චරිතයක් ආවොත් මට කියන්න කියලා. එකට කනබොන යාළුවො තමයි මචං මේවා කරන්නෙ.*

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නළු නිළි හිඟයක්

මේ දිනවල රෑපගත කරන ටෙලිනාට්‍ය කීපයක් විශාල අර්බුදයකට මුහුණ දෙනවා කියලා ආරංචියි. කළින් ෂූටිංවලට දින දීපු නළු නිළියො, තොග වශයෙන් ඒවට පොලු තියනවලු.

ඒ නිසා සමහර දුර බැහැර දර්ශන තලවල රෑපගත කිරීම් පවා ඇණහිටිලා තියෙනවා. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට මේ නිසා විශාල පහරක් එල්ලවෙලා තියෙනවා. ඒකට හේතුව පෞද්ගලික රෑපවාහිනී නාලිකා කීපයක් විසින් පටන් අරගෙන තියෙන නර්තන රියැලිටි වැඩසටහන්වල මේ නළු නිළියො සහභාගි වන නිසාලු.

&අපෝ දැන් බෙහෙතකටවත් නළු නිළියො ටෙලිනාට්‍යවලට හොයාගන්න බැහැ. ඇයි ඉතින් ටෙලිනාට්‍ය සඳහා දවසකට ගෙවන මුදල වගේ හතර පස් ගුණයක් ඒ අයට ටී.වී. චැනල් වලින් දවසකට ගෙවනවනෙ. රිහසල්වලටත් ඒ වගේ ගණන් ගෙවනවා. ඉතිං ඒ වගේ වාසි අත්ඇරලා මේකට එයිද,* ටෙලි නිෂ්පාදකවරයෙක් පසුගියදා කිව්වා.

&ඒත් ඉතිං ඔය නටන ගයන ටී වී වැඩසටහන් වැඩිම වුණොත් මාස දෙක තුනක් තියේවි. ඊට පස්සෙ ඒ ගොල්ලන්ට ටෙලිනාට්‍ය හොයාගෙන එන්න වෙනවා.* ඔහු කිව්වා.

නූතන ගීතය හා කොත්තු රොටිය

පහුගිය දවසක සංගීත ප්‍රසංගයක් අවසන් කර ගෙදර එමින් සිටි සංගීත ශිල්පීන් පිරිසක් රූ කෑම කන්න හෝටලයක් ළඟින් වාහනය නැවැත්තුවලු. හෝටලේ කොත්තු බාස් තාලෙට කොත්තු හදන හැටි මේ ගොල්ලො ඕනකමින් බලන් හිටියලු.

&අද ඇහෙන ගීත ගැන කල්පනා කළාම මට හිතෙනවා කොත්තු රොටිය ඊට වඩා හොඳයි කියලා.* එක ශිල්පියෙක් කිව්වලු.
&ඒ මොකෝ මචං එහෙම කියන්නෙ?*
&නෑ ඇත්තටම හිතලා බලපංකො දැන් ඇහෙන සින්දුවල මොනවද තියෙන්නෙ කියලා. තාලෙ විතරයි, මෙලෝ රහක් නෑනෙ.*

&ඉතිං කොත්තුව කොහොමද හොඳ වෙන්නෙ?*
&ඇයි බං කොත්තුව හදනකොට ඒකෙ තාලයක් තියෙනවා. හදලා ඉවර වුණාම ඒකෙ හොඳ රහකුත් තියෙනවනෙ.* කතාව අහලා හැමෝටම හිනා ගියාලු.

නැටුම නිසා බඩගින්නේ

ඕනෑම දේකට සීමාව ඉක්මවා ඇබ්බැහි වීම හොඳ දෙයක් නෙවෙයි. සමහරැ නාන කාමරේ සින්දු කියනවනෙ. ඒ වගේ බාත්රෑම් ගායකයෝ පමණට වඩා ඇබ්බැහි වුණාම නාන කාමරේට ගිහින් සින්දු කියලා එළියට එනවා. පස්සෙ තමයි මතක් වෙන්නෙ නාපු නැති විත්තිය.

ඔන්න ඒ වගේ ඉන්නවා කලා ලෝකයේ තරැණ ශිල්පියෙක්. තාක්ෂණය පැත්තෙනුත් මෙයාට හොඳ දැනුමක් තියෙනවා. මෙයා ඇබ්බැහිවෙලා ඉන්නෙ මඟුල් ගෙවල්වල නටන්න. ගිය වෙලේ ඉඳන් නටනවා, නටනවා ඉවරයක් නැහැ. පස්සෙ බඩගිනි වෙලා කෑම කන්න ආවම කෑම මේසෙත් අස්කරලා, කෝකියොත් ගෙදර ගිහින්.
එතකොට මෙයා කරන්නෙ දුකටයි කේන්තියටයි එක්ක ආපහු ඇවිත් නටන එක. මොහුත් එක්ක මඟුල් ගෙවල්වලට යන යාළුවො කළින්ම කියනවලු ඔයා නැටුවට කමක් නෑ. වෙලාවට කන්න එන්න කියලා. ඒත් මෙයා නම් කියලා හදාගන්න පුළුවන් කෙනෙක් නෙවෙයිලු.

ඔබෙ සැප අපෙ සතුටයි

 

මෑතකදී අපේ නිළි රුජන මාලිනී ෆොන්සේකා රංගන ශිල්පිනියට හදිසි බයිපාස් සැත්කමක් කරන්නට සිද්ධවුණු බව කවුරැත් දන්නවනෙ.

සැත්කමෙන් පස්සෙ ඉතින් ටික කාලයක් යනකං ඇයට පරෙස්සම් වන ලෙස වෛද්‍යවරැන් කිව්වලු. මාලිනීට හිතවත් අය ගොඩ දෙනෙක් ඇය බලන්නට රෝහලටවත් ගෙදරටත් ගිහින් නැත්තෙ ඇයට තිබෙන ළෙන්ගතුකම හා ආදරය නිසයි.

ඒත් පසුගිය දවසක පැවති එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකට මාලනීත් ඇවිත් ඉන්නවා දැකලා කට්ටිය පුදුම වුණාලු. එයාගෙ හිතවත් යාළුවො කීප දෙනෙක් ඇය ළඟට ගිහින් කිව්වලු &ඔයා මීට වඩා පරෙස්සම් වුණොත් හොඳයි නේද? අපි මෙහෙම කියන්නෙ ඔයාට තියෙන ආදරය හා භක්තිය නිසයි* කියලා.

 

♦ මිත්‍ර